Translate

Tuesday, January 17, 2017

සඳ මෙනවී

සඳ මෙනවී !

ඔබ කුසුමක් වෙවයි පතමි,
මසිත තුලමැ පිපී ඉන්න . . .!

     ඔබමැ කෙරෙහි
     මනැස මසැස නැමී
     සදාකල්මැ 
     දැහැන් ගතවැ හිඳී . . .

අතැර උඩඟුකම් මනහර
අතු අග විකසිත -  බිමට නොඑන
සඳ මෙනවී

ඔබ කුසුමක් වෙවයි පතමි
නිතර මා ළයේ  ඉහිරන - මුදු සුවඳ ආදරේ මල් රොන . . . !

සුළඟ සිව්දෙසින් එනැවිට
හද තැලෙන පෙළෙන රිදෙන සොවින
සඳ මෙනවී

ඔබ කුසුමක් වෙවයි පතමි
සුළඟ හා සමඟ නට නට - නැලැවෙවී එදුක දුරු කරවන . . . !

Sunday, April 3, 2016

සරසලා පෙමින්

සරසලා පෙමින්
මට
දුක ගෙනත් දුන්
ඔබට
ආයිබෝවන්

සියල්ලම අහිමී
මට
දුකවත් මදැයී
ඔබට
ආයිබෝවන් . . . !

ඔබ දෙසම බලාහුන් තරම්
මයේ ඇස් දෙක දනී
ඔබ ගැනම සිතූ හැටි නිතින්
ගැලූ කවි ගඟ දනී . . .
එයින් කම් නෑ
ඔබ යනු මැනව ඉතින්
ඔබට ආයිබෝවන් . . . !

පවනැල්ල හඬාවී ඇවිත්
කුසුම් නෙත් පියාවී
ඔබ කොහිද අසාවී සඳත්
මම් ගොලුව හිඳීවී . . .
එයින් කම් නෑ
ඔබ යනු මැනව ඉතින්
ඔබට ආයිබෝවන් . . . !